සැබෑ නොවන හීනයක්…

දේහ ලක්ෂණවලින් වගේම ජ්‍යෙෂ්ඨත්වයෙනුත් ඉහළ ඈත පළාතක් නියෝජනේ කරන ලොකුම ලොකු ඇමැති සයිස් මහත්තයෙක් තමන්ගේ සමීපතම මිතුරන් පිරිසක් එක්ක මධුවිතක් තොලගෑවා. සුහද කතාබහක් එක්ක ටික වෙලාවක් ඇඟපත රත් කරගත්ත උන්නැහේ බොහෝම හැඟීම්බරව කතා කරන්නත් පටන් ගත්තා. 

උන්නැහේ එකපාරටම තමන්ගේ ජීවිත කාලේ සැබෑ කරගන්න ඕනෑ වුණ හීන ගණනාවක් ගැන මිතුරන් හමුවේ හෙළිදරව්වකුත් කළා කියමුකෝ… අයිසේ….. මගේ ජීවිත කාලේ හුඟක් දේ ලබාගන්න හිටියා. ඒ සමහර ඒවනම් ඉහටත් උඩින් ලැබුණා. සමහර තනතුරු එහෙම නම් ලැබුණේ නැහැ. මොනවා වුණත් දැන් ඇත්තටම මම දේශලපාලනෙන් කලකිරිලා ඉන්නේ… උන්නැහේ කියාගෙන කියාගෙන ගියා.

එක කාලයක් මම හිතුවා ලෝකේ වටේ කාර් එකකින් යන්න. අන්තිමට මම ඒ ගමන ගියා. ඊළඟට තවත් වැඩකටයුත්තක් කරන්න හිටියා. ඒකත් කරගත්තා. ඊළඟට රටේ උසස්ම පදවියකට යන්න හිටියා. ඒක හරිගියේනම් නැහැ… දැන් මට තියෙන්නනේ එකම එක හීනයයි. ආයේ ඡන්ද තරග කරන්න හිතක් නැහැ මට…. ඒත් මට ධනවත් සිටුවරයෙක් වෙන්න ආසයි… ඇමැති තැන එහෙම කිව්වම ළඟ හිටපු යාළුවෝ ධනවත් කියන්නේ සර් දැන් කොහොමත් ධනවත්නේ… කියලා පොඩි උදැල්ලක් දැම්මා. ඒ පාර මහ හයියෙන් හිනාවුණු ඇමැතිතැන ධනවත් අපි මොන ධනවත්ද අයිෂෙ. අඩුම ගානේ ට්‍රිලියනර් කෙනෙක් තමයි අද ධනවතෙක් හැටියට සලකන්නේ… මේ ජ්‍යෙෂ්ඨයා කිව්වා… ඒක අහපු යාළුවෝ එතකොට සර් හදන්නේ එහෙම කෙනෙක් වෙන්නද අප්පා ආයෙම ඇහුවා. ඒ ප්‍රශ්නයට උත්තර දුන්න උන්නැහේ මුහුණ බැරෑරුම් කරගෙන ඈතින් පෙනෙන නමුනුකුළ කන්ද දිහා බලාගෙන නිමල හදවතින් යුතුව ඔළුව වැනුවා විතරයි මුකුත්ම කිව්වේ නැහැ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*