ඉල්ලන් හිරබත් කෑ දකුණේ ඇමති කවුද?

ඒකාබද්ධ විපක්ෂයට සහය දුන් ප්‍රබලයින් දිගින් දිගට තමන් හා එකතුවීම නිසා ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරිදා හපුතලේ නගරයේ පැවැති ජනහමුවකට සහභාගිවෙමින් පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් සංවිධානය කොට තිබූ මෙම රැස්වීමට ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතාද සහභාගි වී සිටියා.

මෙහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ තමාට හැකියාවක් තිබෙනවා නම් ගෙයක් ගානේ ගිහින් ශ්‍රීලනිපයට ඡන්දය දෙන්න කියන බවයි. දේශපාලනඥයන් හිතුවක්කාරයන් බවට පත්කර වංචාවට, දූෂණයට, හොරකමට, නාස්තියට හා රාජ්‍ය දේපළ අවභාවිතයට ඉඩකඩ ලැබුණේ මනාප ඡන්ද ක්‍රමය නිසා බව කී ජනාධිපතිතුමා එම ක්‍රමය වෙනස් කිරීමට මෙම රජය ක්‍රියා කළ බව ද පැවසුවා.

දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ 92 වන කණ්ඩායමේ විසිරයාමේ උත්සවයටද ජනාධිපතිතුමා ඉරිදා සහභාගි වුණා. කෙඩෙට් නිලධාරින් හා නිලධාරිනියන් 191 දෙනකු සාර්ථක යුද හමුදා පුහුණුවකින් පසුව අධිකාරි නිල හමුදා සේවයට එක්වීම මෙහිදි සිදුවුණා.

ජාතික ආරක්ෂාව මෙන්ම කලාපීය ආරක්ෂාවද සුරැකීම ශ්‍රී ලංකා යුද හමුදාවේ වගකීමක් බව එම අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. විනය, දක්ෂතාව, පුහුණුව හා පළපුරුද්ද අතින් අපේ හමුදාව අද ලෝකයේම ගෞරවාදරයට පත්ව සිටින බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සම්මේලනය පසුගිය සඳුදා කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්වුණා. අධිකරණ ක්ෂේත්‍රයේ උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදය ගැන එහි දී කතා කළ ජනාධිපතිවරයා විනිසුරුවරුන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව ඇතැම්විට ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් තමා සෑහීමට පත්වන්නේ නැති බව කීවා. විනිසුරු උසස්වීම් සඳහා සියලුදෙනාටම පිළිගත හැකි ක්‍රම‍ෙව්දයක් සකසන බව ද ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා.

මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයද වැඩසටහනක් සංවිධානය කොට තිබුණා. පසුගිය අඟහරුවාදා ජනාධිපති මන්දිරයේ පැවැති එම උත්සවයට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද සහභාගි වී සිටියා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද උත්සවයට එක්ව සිටියා.

එහි දී කතා කළ ජනාධිපතිතුමා කීවේ නත්තල් උදාවේ දී යහපත් සමාජයක් හැදීමට කැපවීමෙන් වැඩ කළ යුතු බවයි. මීට පෙර පැවැති කිසිම ආණ්ඩුවක් පරිසරය රැකගැනීමට ජාතික ප්‍රතිපත්තියක් යටතේ වැඩ නොකළ බව කී ජනාධිපතිතුමා මේ රජය ඒ සඳහා කටයුතු කොට ඇති සැටි පෙන්වා දුන්නා. දුගී දුප්පතුන් වෙනුවෙන් යුතුකම් හා වගකීම් ඉතා මානුෂීය ලෙස ඉටුකළ යුතු බව ද ජනාධිපතිතුමා කීවා.

බිම්ස්ටෙක් ලෙස හඳුන්වනු ලබන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගිතා අන්තර්ජාතික සමුළුව තුන්වන වතාවට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්වුණා. එහි දී කතා කළ ජනාධිපතිතුමා කීවේ දිළිඳුකම පිටුදැකීමට කලාපීය හා අන්තර්ජාතික සහයෝගය ලබාගැනීමේ අරමුණ සාර්ථක කරගත යුතු බවයි. තමා ගත කළ දිළිඳු ජීවිතය නිසාම දිළිඳුකම පිටුදැකීමේ වුවමනාව තමාගේ ඇ‍ඟේ තිබෙන බව ද ජනාධිපතිතුමා කීවා.

ඇමැති එස්. බී. දිසානායක මහතාද සමුළුවට එක්ව සිටියා. එතුමාගේ කතාවේ දී එතුමා කීවේ සාමාන්‍ය පවුලකින් ආ ජනාධිපතිතුමාගේ ඇ‍ඟේ ලේ මස්වල දිළිඳුකම පිටුදැකීමේ අවශ්‍යතාව තිබෙන බවයි.

රාජගිරියේ ඉදි කෙරෙන නව ගුවන් පාලමේ අවසන් අදියරේ කටයුතු නිරීක්ෂණය කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා උදේ ගියා. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැති චම්පික රණවක හා ආචාර්ය හර්ෂද සිල්වා මහත්වරුන් ඒ සඳහා අගමැතිවරයාට ඇරයුම් කර තිබුණා.

වැඩේ ඉතා හොඳයි.පරක්කු නොකර අවසන් කරන්න ඕනෑ. දවසක් මමත් මෙතන හුඟ වෙලාවක් හිර වුණා.” අගමැතිවරයා කිව්වා.

“වැඩ 95%ක් දැන් අවසන්. ඉතා කෙටි කලකින් මේක ජනතා අයිතියට පත් කළ හැකියි. හර්ෂ ද සිල්වා මහතා කිව්වා.

“ දෙසැම්බර් මුල මේක විවෘත කරන්න හිටියේ. මෙතන විශාල වාහන තදබද තියෙන තැනක් නිසා කඩිනම් කිරීම ටිකක් අමාරු වුණා. ඒත් ජනවාරි මුල ජනතාවට මේක පරිහරණයට ලබා දිය හැකියි.” ව්‍යාපෘති ඉංජිනේරුවරයා අගමැතිවරයාට දැනුම් දුන්නා.

“ රාජගිරියේ ගුවන් පාලම බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය යටතේ ලබාගත් මීටර් 533 ක් දිග මන්තීරු හතරේ එකක්.රු දස ලක්ෂ 4514 ක් මේකට වැය කළා. චම්පික රණවක හා හර්ෂත් මේ වැඩේට හුගක් මහන්සි වුණා.වාහන තදබදයට ඒක ලොකු විසදුමක් වේවි.” ලක්ෂ්මන් කිරිඇල්ල අගමැතිවරයාට කීවා.

අනතුරුව අගමැතිවරයා අරලිය ගහ මැදුරට පැමිණියා. අගමැතිවරයා හමුවීමට මැති ඇමතිවරු පිරිසක්ද පැමිණ සිටියා.

“දැන් බඩු මිල වැඩිය කියලා අගමැතිතුමා රටට කියන නිසා විපක්ෂයට කියන්න දෙයක් නැති වෙලා. අතවශ්‍ය භාණ්ඩ 08 ක මල්ලක් ලබන සිංහල අවුරුද්ද දක්වා දෙන්න ගත්ත තීන්දුව ඉතා වටිනවා. ඒත් මේක ක්‍රියාත්මකද කියලා පසුවිපරමක් කළ යුතුයි” රවී කරුණානායක මහතා කී විට අගමැතිවරයාද එය අනුමත කළා.

“මමත් බලන්නේ මේ බඩු මල්ල හරියට බෙදා හැරීම කෙරෙනවද කියලයි. බඩු මිල අභියෝගය ආවාම මම වගකීම බාරගත්තා. බඩු මිල ප්‍රශ්නය උග්‍ර වුණේ නියඟය හා ගංවතුර නිසා මිසක් ආණුඩුවේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. බඩු බෙදාහරින්න සතොස වගේම සුපර් මාර්කට් චේන් එකත් ඈඳා ගන්නවා. මේක හරියන්න දින කීපයක් යාවි. කොමිටි දාලා විතරක් බඩුමිල අඩුකරන්න බෑ” අගමැතිවරයා කිව්වා.

“බඩු බෙදාහරින්න සතොසට අමතරව සුපර් මාර්කට් චේන් එක යොදා ගැනීම අලුත් සංකල්පයක්. ඒක තවත් ඉදිරියට ගෙනියන්න ඕන” රවී කරුණානායක මහතා යෝජනා කළා.

“ඔව්. සතොස හා සුපර් මාර්කට් චේන් එක පවා ජනතාවගෙන් 25% විතරයි ආවරණය කරන්නේ. ප්‍රධාන සමාගම්වල බෙදා හැරීමේ යාන්ත්‍රනයක් මේකට හවුල් කරගන්නයි මම බලන්නේ. සියලු භාණ්ඩ බෙදා හරින සමාගම් වාහන 50, 000 කට වඩා තිබෙනවා. බිස්කට් හා බෙහෙත් බෙදා හරින වාහන එක් ලක්ෂ පනස්දහසකට වඩා තියනවා. ඔවුන් හවුල් කරගන්නයි මම බලන්නේ” අගමැතිවරයා කිව්වා.

“රුසියාව අපේ තේ හා තව භාණ්ඩ එකපාරටම තහනම් කිරීම ලොකු ප්‍රශ්නයක්. ඒක ඉක්මනින් විසඳා ගන්න වේවි. අපේ සුළු අපනයන බඩුවලටත් මේක බලපාන්න බැරි නෑ” දයා ගමගේ ඇමතිවරයා කිව්වා.

“කුරුමිණියා නිසා තේ නැවැත්තුවට අනිත් ඒවා නැවැත්වීම අසාධාරණයි. එයාලගෙ ඇස්බැස්ටස් අපි නවත්තන්න තීන්දු කිරීම මේකට බලපෑවද දන්නෙ නෑ. ඒත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් ප්‍රශ්නය ඉක්මනින් විසඳා ගන්න පුළුවන් වේවි කියල හිතනවා” අගමැතිවරයා කීවා.

“ලංකාවේ රුසියානු තානාපතියි රුසියාවේ අපේ තානාපතියි වෛද්‍ය සමන් වීරසිංහත් මේ ප්‍රශ්නය ගොඩින් බේරගන්න ලොකු කැපකිරීමක් කරනවා. වෛද්‍ය සමන් එයාගෙ පෞද්ගලික හිතවතෙක් නිසා ජනාධිපති පුටින්ව කෙළින්ම හමුවෙලා කරුණු පැහැදිලි කරල දීලත් තියෙනවා කියල ආරංචියි” විදේශ අමාත්‍යාංශ නිලධාරියෙක් කීවා.

මෙරට දී රු: බිලියන කිහිපයක් විසුද්ධිකරණයට යොමුකර පොලීසියට හසු වූ රුසියානු ජාතිකයකු සතිපතා පොලීසියට වාර්තා කළ යුතු පසුබිමක අතුරුදහන්වීම හා මෙරටට රුසියානු නැවක් විකිණීමට පැමිණි පිරිසක් සමඟ ඔහු පලාගිය බවට මතුවූ සැකය ගැන පුවත්පත් දෙකක පසුගියදා ප්‍රවෘත්ති පළ වුණා. එම ප්‍රවෘත්තිය ගැන විදේශ අමාත්‍යාංශ ඉහළ නිලධාරියකු එම පුවත්පත්වලට කරුණු දක්වා නිවේදන එවීම හා ඒ ගැන කිසිවක් විදේශ ඇමතිවරයාද නොදැන සිටීම ගැන අගමැතිවරයාට දැනුම් දුන්නේ රාජ්‍ය මාධ්‍යයක ප්‍රධානියෙක්. එය ඇසූ අගමැතිවරයාට කේන්ති ගියා.

“මොකක්ද ඒ රුසියානුවා රකින්න විදේශ අමාත්‍යාංශයට ඇති රුදාව” ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළා.

“මේ වගේ වැඩවලට බුරුලක් දෙන්න නරකයි. විදේශ අමාත්‍යාංශ නිලධාරී මාෆියාවට ඉඩදෙන්න නරකයි” කිරිඇල්ල මහතා වැඩිදුරටත් කිව්වා.

“ඒක මතක් කළ එක හොඳයි. විදේශ ඇමතිටත්, අමාත්‍යාංශ ලේකම්ටත් නිලධාරියටත් එන්න කියල පරීක්ෂණයක් කරන්න කියල හුඟ දෙනෙක් මට කිව්වා” අගමැතිවරයා පිළිතුරු දුන්නා.

“ පොහොට්ටුවට නාමයෝජනා හදාගන්නත් බැරි බව ඔප්පු වුණා. ඒ අස්සෙ ගිය මහ මැතිවරණයෙදි ලැබුණු ප්‍රතිඵල අනුව ආයතන 200 කට වඩා දිනන්න පුළුවන් කියලත්, පිටරට ආධාර අරන් ගම දියුණු කරන බවත් බැසිල් මහත්තයා කියනවා.” මන්ත්‍රි චමින්ද විජේසිරි කිව්වා‍.

“ පිටරටින් ඍජු ආධාර ලබාගන්න පළාත් පාලන ආයතනවලට තියා පළාත් සභා වලටත් බැහැ.” අගමැතිවරයා කීවා.

පසුගිය සති අන්තයේ (16) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පළමුව නිවිතිගල නගරයටත් අනතුරුව රත්නපුර නව නගරයටත් ආවා. අගමැතිවරයා යටතේ ක්‍රියාත්මක ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ලබාදුන් රු.ලක්ෂ 1600ක වියදමින් ඉදිවූ නිවිතිගල පොදු බස් නැවතුම්පළ සහ සතිපොළ විවෘත කිරීම සඳහා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය අගමැතිවරයාට ඇරයුම්කර තිබුණා.

අගමැතිවරයා කැටිව තලතා අතුකෝරළ ඇමතිවරිය උත්සව භූමියට පැමිණි අතර, දුනේෂ් ගන්කන්ද, ඒ.ඒ. විජේතුංග, හේෂා විතාන යන රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප මැති ඇමැති මන්ත්‍රී පිරිස අගමැතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

එම වේදිකාවේ සිටි ආරාධිතයින් දෙදෙනකු වෙත උත්සවයට පැමිණ සිටි එක්සත් ජාතික පාක්ෂිකයෝ බලා සිටියේ තරමක කුතුහලයෙන්. ඒ සබරගමු පළාත් සභාවේ ආණ්ඩුකාර නීතිඥ මාර්ෂල් පෙරේරා සහ මහින්ද රාජපක්ෂ යුගයේ සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයකු ලෙස කටයුතු කළ ඩික්ෂන් දෑල යන මහත්වරු දෙසයි. මාර්ෂල් පෙරේරා, රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරාගේ පියා වන අතර, ඩික්ෂන් බණ්ඩාර මහනුවර දළඳා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග ප්‍රදීප් දෑලගේ පියාණන්.

මේ දෙදෙනා අතුරින් ඩික්ෂන් දෑල මහතා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරෙකු මෙන්ම රාජපක්ෂ මහතා සමඟ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ එකම පන්තියේ අකුරු කළ අඹ යාළුවෙක්.

සිය කතාව අතරතුර තලතා අතුකෝරල මහත්මිය ඩික්ෂන් දෑල මහතාගේ නම සඳහන් කළ අතර, ඒ අනූව අගමැතිවරයා වේදිකාවේ අසුන්ගෙන සිටි ඩික්ෂන් දෑල මහතා දෙස බලමින් ආචාර කළා. අසුනෙන් නැ‍ඟී සිටි දෑල මහතා දෑතම එක්කොට අගමැතිවරයාට සමාචාර දැක්වුවා. අදහස් දක්වන අතරතුරේ මාර්ෂල් පෙරේරා මහතා සඳහන් කළේ මෙවන් පොදු කටයුතුවල දී දේශපාලන වාදභේදවලින් තොරව එම අවස්ථාවන්ට සහභාගී වීම තම පිළිවෙත බවයි.

සාමාන්‍යයෙන් කාන්තාවන් ටිකක් තදින් කටයුතු කරනවා.අධිකරණ ඇමතිධූරය තලතා අතුකෝරල මහත්මියට ලබා දීම පිළිබඳව සඳහන් කරමින් අගමැතිවරයා කීවා. දැන් අපි බලා ඉන්නවා ඒ රාජකාරිය එතුමිය කරන හැටි. අගමැතිවරයා වැඩිදුරටත් කීවා.

මේ අතර අගමැතිවරයා සමීප අසුනේ සිටි දුනේෂ් ගන්කන්ද මහතා එදින උදෑසන වාර්තා වූ රුසියානු තේ වෙළඳපොළේ කුරුමිණි ගැටලුව පිළිබඳ අගමැතිවරයාගේ අවධානය යොමු කළා. මම මේ ගැන දැනටමත් නවීන් දිසානායකට අවශ්‍ය උපදෙස් දීලා තියෙන්නේ. වහා මෙම ගැටලුවට මැදිහත්ව විධිමත් පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය පිළියම් ගන්නා ලෙසත්, කිසියම් ආයතනයක්, පුද්ගලයෙක්, මේ කටයුත්තට වැරදිකරුවෙක් නම් දඬුවම් කරන ලෙසත් මා නවීන්ට උපදෙස් දුන්නා. අගමැතිවරයා දුනේෂ් ගන්කන්දට කීවා. ඉන්පසු ගන්කන්ද මහතා රත්නපුර දිස්ත්‍රික්කයටම බලපා ඇති මැණික් කර්මාන්තයට අදාළ ගැටලු ගණනාවක් පිළිබඳව අගමැතිවරයාගේ අවධානය යොමු කළා.

තිස්සමහාරාම, දෙබරවැව පශ්චිමාරාම රජමහා විහාරස්ථාස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල සඳහා ‘සසුණට අරුණ‘ යටතේ මූල්‍යාධාර පරිත්‍යාග කිරීම සඳහා පැවැති විශේෂ උත්සවයකට පසුගියදා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සහභාගී වුණා. කලක් මුළුල්ලේ ජරාවාස වෙමින් ජනතා අවධානයෙන් ගිලිහෙමින් පැවැති මෙම පුරාණ විහාරස්ථානය අලංකාර තත්ත්වයට වැඩි දියුණු කර සංවර්ධනය කළේ වත්මන් විහාරාධිපති මෙත්මුණිගම සිරිසුමන හිමියන් විසින්. සජිත් විහාරාධිපති හිමියන් සහ දායක සභාවේ සාමාජිකයන් සමඟ මහත් උනන්දුවෙන් සාකච්ඡා කළේ එහි වත්මන් දියුණුව සහ ඉදිරියේ දී කළ යුතු කාර්යයන් ගැනයි. ‘පසුගි පාලන කාලයේ දී තිස්සමහාරාම ප්‍රදේශයේ මත්පැන් සහ මත් ද්‍රව්‍ය උවදුර බරපතළ විදිහට පැතිරිලා තියෙනවා. මෙතැන දෙබරවැව ජාතික පාසලට ඉතාම කිට්ටු තැනක මත්පැන් අලෙවි සලක් තිබෙනවා.

පාසලක පිවිසුම් දොරටුවේ ඉදලා නිර්ණය කළ නිශ්චිත දුරක් ඇතුළත වයින් ස්ට්‍රෝස් එකක් දාන්න බැරි බවට නීතියක් තිබෙන නිසා පාසල් ගේට්ටුව තිබුණු තැනින් එහාට ගෙනිහිල්ලා වයින් ස්ටෝස් එක දාන්න බාධාවක් නොවෙන විදියට දුර ප්‍රමාණය සකස් කර දීලා තිබෙනවා. එහෙමයි ඒ කාලේ මතට තිත තිබ්බේ‘ සජිත් කීවා. විහාරාධිපති හිමියන් කීවේ ‘ ඒ දවස්වල වෙච්ච ඔය වගේ වැඩ ගැන අපි ඉතිං මොනවා කරන්න ද? අපට කරන්න දෙයක් තිබ්බේ නෑ‘ කියා යි. ‘එදා මම ආණ්ඩු පක්ෂයේ හිටියා නම් දන්නවා, කරන්න ඕනෑ දේ‘ සජිත් කීවා. අනතුරුව සජිත් කීවේ ‘අපේ හාමුදුරුවනේ, තිස්සමහාරාමය කියන්නේ ඓතිහාසික පුද බිමක්. තිස්සමහාරාමය පුජා නගරයක් කළේ මගේ තාත්තා. ඒ පුදබිම අවට මත්පැන් හල්, තැබෑරුම්, දුසිරිත් පවත්වාගෙන යාම සදාචාරාත්මක නෑ නේද?‘ කියායි. හරියටම හරි මහත්තයෝ, ඒවායින් මුදා ගන්න වැඩපිළිවෙළකට ඔබතුමාට අපේ ආශිර්වාදය හිමි වෙනවා‘ විහාරාධිපති හිමියන්ගේ පිළිතුර වුණා.

සෙනසුරාදා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන සම්පූර්ණ කාලය ගත කළේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ගාල්ලේ නාමයෝජනා සැකසීම සඳහායි.දිනය පුරාම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් ඒ කාර්යයේ නිරත වූ අමාත්‍යවරයා පසුගිය මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය ද සිදුකළේ ඒ පිළිබඳ විද්වතුන්ගේ ද සහාය ලබා ගනිමිනි. ගාල්ල මහ නගර සභාවේ ඒ ඒ ඡන්ද පොළවලින් මැතිවරණ ගණනාවක දී එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය ගණනය කළ අමාත්‍යවරයා කොට්ඨාස සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් පමණක් නොව විරුද්ධ පක්ෂවලින් ද ඉදිරිපත් වන අපෙක්ෂකයන්ගේ පැටිකිරිය ද සොයමින් නාමයෝජනා පත්‍ර සැකසීම සිදුකළා.

පසුදින ඉරිදා ඒ සියලු දත්ත හා විශ්ලේෂණ ද සහිතව අමාත්‍යවරයා ගාල්ලට පැමිණියේ. පක්ෂයේ නියෝජිතයන් හමුවීමේ අපේක්ෂාවෙන්. නමුත් ගාල්ලට පැමිණි වජිර මුලින්ම ගියේ ගාල්ලේ බන්ධනාගාරයටයි.ගිංතොට සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පිරිසට මෙතෙක් ඇප ලැබී තිබුණේ නැහැ. ඔවුන්ට ඇප ලබා ගැනීමට නීතිඥවරු දැඩි වෙහෙසක් ගත්ත ද ජාත්‍යන්තර නීතියක් එයට හරස් වී තිබෙනවා.බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී ම ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මුණ ගැසීමට ගියා.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ පුද්ගලිකවම සාකච්ඡා කර අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව සමඟ ද සාකච්ඡා කළේ දැන් ගිංතොට ප්‍රදේශය මුළුමනින්ම සාමකාමී තත්ත්වයට පත්ව ඇති බැවින් ඔවුන්ට ඇප ලබා දීමට ඇති අවකාශය පිළිබඳවයි. ගිංතොට ථූපාරාමයේ වැඩවාසය කරන අම්බලන්ගොඩ සුමේධ හිමියන් ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ගොස් වජිර අබේවර්ධන අමාත්‍යවරයා කිහිප වතාවක් ම හමුවී මේ ගැටලුව නිරාකරණය කරගැනීමට වෙහෙසෙමින් සිටියා.

මේ අතර බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුව සැකසීමේ ගැටලුවක් මතුවී තිබුණා.හිටපු මන්ත්‍රී කියාස් ගිංතොට සිද්ධියේ දී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබෙනවා. ඔහුට මෙතෙක් ඇප ලැබී නැහැ. එක්සත් ජාතික පක්ෂයේ තීරණය වී තිබෙන්නේ හිටපු මන්ත්‍රීවරුන් උසාවියකින් වරදකරුවන් වී නොමැතිනම් අපේක්ෂකත්වය හිමිවිය යුතු බවයි. කියාස් සිද්ධියේ සැකකරුවකු පමණයි. වරදකරුවකු නොවේ. එබැවින් ඔහුට මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අවස්ථාව දෙන්න යැයි විශාල පිරිසකගේ ඉල්ලීම වී තිබුණා.

ඉරිදා දහවල් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා බන්ධනාගාරයට යනවිට ගිංතොට සිද්ධියේ දී සැකපිට රිමාන්ඩ්කර සිටින පිරිස සිටියේ දිවා ආහාරයට ගැනීමට සූදානමෙන්. අමාත්‍යවරයා ද සිටියේ බඩගින්නේයි. අපිටත් කන්න පුළුවන් දැයි අමාත්‍යවරයා බන්ධනාගාර අධිකාරීවරයාගෙන් විමසුවා.

”සර්, කෑම තියෙන්නේ හිර ගෙදර ඒවා තමයි. ”

”වැඩිය හොඳයිනේ, ඒ අය කන විදියට අපිත් කාලා බලන්න ඕනෑ.” යැයි කී ඇමතිවරයා

හිරබත් කෑවා.

මේ අවස්ථාවට අක්මීමණ එක්සත් ජාතික පක්ෂ සංවිධායක විජේපාල හෙට්ටිආරච්චි මහතා ද එක්ව සිටියා.මන්ත්‍රීවරයා අතේ බෝපේ පෝද්දල නාමයෝජනා පත්‍රය තිබුණා. ඇමැති වජිරත්, මන්ත්‍රී විජේපාලත් බෝපේ පෝද්දල එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට කියාස්ගේ අත්සන ලබාගත්තා.

ඒ අනුව රිමාන්ඩ් භාරයේ පසුවන කියාස් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් පසුවෙනවා.

හිරබත් කෑ වජිර අබේවර්ධන මැතිවරණයේ සංවිධාන කටයුතු සඳහා පක්ෂ ක්‍රියාකාරිකයන් රැසක් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එදි රාත්‍රී යළි කොළඹ බලා පැමිණියා.

ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයේ දී මීට පෙර තරග නොකරන ලද උතුර නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා තරග කිරීමට නාමයෝජනා භාර දී තිබෙනවා.මෙම පළාත් දෙකේ දිස්ත්‍රික්ක සඳහා නායකත්වය දෙන්නේ, ජවිපෙ මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායකයි.මඩකළපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල අපේක්ෂකයන්ගේ හමුවක් පසුගිය සතියේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් කාත්තන්කුඩිහි දී පැවැත්වුණා. අපි මීට කලින් මේ පළාත් පාලන ආයතනවලට තරග කරලා නැහැ. නමුත් මේ මැතිවරණයේ දී අපිට මේ පළාත්වල ජනතාවගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

ඒ නිසා අපිට මේ මැතිවරණයේ දී ලොකු පහසුවක් වෙලා තියෙනවා. ඇත්තටම මුස්ලිම් ජනතාව මේ තරමට ජවිපෙට ළං වුණේ මොකද කියලා මම කල්පනා කරනවා.” සුනිල් හඳුන්නෙත්ති කීවා. කාත්තන්කුඩි නගර සභාවේ ජවිපෙ කණ්ඩායම් නායකයා වූ වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වන මුජීබ් ඊබ‍්‍රාහිම් එයට පිළිතුරක් දුන්නා. ”කොම්රේඞ්, මුස්ලිම් ජනතාව වෙනුවෙන් අපේ නායකයෝ පක්ෂ හැදුවා. ඒ අය පක්ෂ හදාගත්තේ ඡන්දෙ ඉල්ලන්න විතරයි. ඡන්දෙ අරන් ගියාට අපි ගැන කතා කළේ නැහැ. නමුත් ජවිපෙ අපෙන් ඡන්දෙ ඉල්ලගෙන ආවේ නෑ. නමුත් අපේ ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ දී, පළාත් සභාවේ දී, පාරේ සටනෙදි කතා කළා. ඒ නිසා ජනතාව තේරුම් අරගෙන තියෙනවා ජවිපෙ කියන්නේ කවුද කියලා. හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා මඩකළපු ඇවිත් තමන්ගේ වැඩක් විදියට මහන්සි වෙනවා. නමුත් මේක මෙහෙ ජනතාවගේ වැඩක්.” මුජීබ් ඊබ‍්‍රාහිම් කියා සිටියාය. ”මුස්ලිම් කාන්තාවන් දේශපාලනය ගැන උනන්දුව ගොඩක් අඩුයි.

ඒ අයගෙ සහයෝගය අපිට ලැබෙයිද?” හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විමසුවා.ඒ අය අපිටත් කලින් ෆේස්බුක් එකේ වැඩ පටන් අරන්.ඔබතුමාලා උතුරු නැගෙනහිර වෙන්කරන සටනේ ලොකු වැඩක් කළා. නැත්නම් අපිට වැඩකරගන්න යාපනයට යන්න වෙනවා. රට ඉඳි බදු වැඩි කළාම පාර්ලිමේන්තුවේ කතා කළා. සාහින්ද මරදු ප්‍රාදේශීය සභා ප්‍රශ්නෙදි විජිත මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ කතා කළා. ගිංතොට ප්‍රශ්නෙ ගැන නායකතුමා කතා කළා. හැම වෙලාවෙම ජාතිවාදී නොවී සියලූම ජනතාව ගැන කතාකරන්නේ ජවිපෙ. ඒ නිසයි අපි කැමති.” එරාවුර් කණ්ඩායම නායක බුහාරි කියා සිටියා. අපිට නායකතුමා දවසකට ගෙනත් දෙන්න. අපි ලොකු කැමැත්තකින් ඉන්නවා එතුමා පිළිගන්න. මේක විශේෂ ඉල්ලීමක් මඩකළපුව ජනතාව වෙනුවෙන්.” කාත්තන්කුඩි කණ්ඩායම් නායක ඊබ‍්‍රාහිම් ඉල්ලීමක්ද කළා.

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයන්ගේ ජාතික මහ සමුළුව පසුගිය ඉරිදා දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. එම අවස්ථාවට ආරාධිතයින් ලෙස පූජ්‍ය පක්ෂය, ආරියවංශ රණවීර ඇතුළු කලාකරුවන් පිරිසක් සහ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විද්වත් වෘත්තිකයින් විශාල පිරිසක් සහභාගි වූහ. එහි දී ආරාධිත දේශකයින් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති, කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, පරිසරවේ දී වෛද්‍ය ප්‍රසන්න කුරේ පළාත් පාලන අපේක්ෂකයින් ඇමතීය. මෙහි දී පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක විසින් පළාත් පාලන අපේක්ෂකයින් සඳහා වන කරුණු 12කින් යුත් ආචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත් කළ අතර ජවිපෙ සියලූම පළාත් පාලන අපේක්ෂකයෝ එම වගන්ති කියවා එකඟ බවට ප්‍රතිඥා ලබාදුන්නා.

ඒකාබද්ධ විපක්ෂයේ නාම‍යෝජනා හයක් ප්‍රතික්ෂේප වීමෙන් මහින්ද රාජපක්ෂ මහතා කෝපයට පත්ව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු පිරිසට කීවේ තවත් එබඳු වැරදි සිදුවෙන්න ඉඩ නොතැබිය යුතු බවයි. දෙවන වටයේ නාමයෝජනා ලැයිස්තු කල් තබා සකස් කිරීමටත් නැවත නැවත පරීක්ෂා කිරීමටත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ නීතිඥ කණ්ඩායමක් යොදවා තිබුණා. හැකි සෑම තැනකම නාමයෝජනා කල් ඇතිව භාර දීමට ද උපදෙස් දී තිබුණා.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ලේ කාල්ටන් නිවසට මාතර දිස්ත්‍රික්කයේ හිටපු සාමාජිකයන් පිරිසක් පැමිණියා. ඔවුන් එහි පැමිණියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තම සහයෝගය ප්‍රකාශ කිරීමටයි. මේ හමුවීමෙන් පසුව මාධ්‍යවේදීන් හමුවීමට ද රාජපක්ෂ මහතා පැමිණියා. එහි දී මහින්ද රාජපක්ෂ මහතා කීවේ හම්බන්තොට ප්‍රදේශයේ ආණ්ඩුව භාණ්ඩ බෙදාදීම විශාල ලෙස සිදුකරන බවයි. තමන් බඩු බෙදන ඒවා දකින මැතිවරණ කොමසාරිස්වරයා ආණ්ඩුවෙන් බඩු බෙදන හැටි දකින්නේ නැති බවත්, එතුමාගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවා. තමන්ගේ ආණ්ඩුව පැවැති කාලයේ බඩු බෙදනවිට බොහෝදෙනකුට එය පෙනුන බවත් ඒ ගැන කතා කළ බවත් කී රාජපක්ෂ මහතා, මේ ආණ්ඩුව රට පුරා බඩු බෙදනවිට කාටවත් පේන්නේ නැතැයි මැසිවිලි නැඟුවා. ඡන්දෙ ගන්න හිතාගෙන ආණ්ඩුව සිමෙන්ති කොට්ට, මහන මැෂින් ආදිය ද බෙදා දෙන බවත් රාජපක්ෂ මහතා කීවා. තමන් රූපවාහිනියෙන් මේවා දැක්ක බව කීවාම තමා දැක්කේ නැතැයි මැතිවරණ කොමසාරිස්වරයා කියන බව රාජපක්ෂ මහතා පැවසුවා.

කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සඳුදා රාත්‍රියේ මාධ්‍යවේදීන් හමුවුණා. එහි දී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ ශ්‍රීලනිප සභාපතිකම භාරගෙන පක්ෂය නොකඩා එකට තරග කරන ලෙස රාජපක්ෂ මහතාට යෝජනාවක් ලැබුණද යනුවෙනි. එයට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා කීවේ ශ්‍රීලනිප සභාපතිකම තමාට දීමට තරම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෝඩ නැති බවයි. එසේ දුන්නානම් භාර‍ නොගෙන සිටීමට තරම් තමන්ද මෝඩ නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවා.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*