හතුරුසිංහ පෙරලියකට සූදානම්

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තමා තෝරාගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන බවත්, රට වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදී ක්‍රිකට් පිල නැවත ජයග්‍රාහී මාවතට යොමු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස වැඩ බාර ගනිමින් චන්දික හතුරුසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් චන්දික හතුරුසිංහ මහතා සඳහන් කළේ මේ වනවිට පසුබෑමකට ලක්වී ඇති ජාතික කණ්ඩායම නැවත ගොඩගැනීමට ටික කලක් ගතවනු ඇති බවය.

‘කණ්ඩායම නැවත හදලා ගන්න ටික කාලයක් යාවි. අභියෝග තියෙන්න පුළුවන්. ඒත් උපරිම අයුරින් දායකත්වය ලබා දීලා කණ්ඩායම ඉදිරියට ගෙන යාමයි එකම බලාපොරොත්තුව.’ හතුරුසිංහ මහතා කීවේය. ජාතික ක්‍රිකට් පිලේ නව පුහුණුකරු ලෙස තමා හමුවේ ඇති පළමු අභියෝගය වන්නේ ලබන වසරේ ජනවාරි මාසයේ එළැඹෙන ශ්‍රී ලංකා පිලේ බංග්ලාදේශ සංචාරය බව ඔහු කීවේය.

‘මේක හොඳ අවස්ථාවක්. බංග්ලාදේශ කණ්ඩායමේ හැකියාව මා හොඳින්ම දන්නවා. ඒ වගේම එයාලත් මා සිතන ආකාරය ගැන අවබෝධයෙන් ඉන්නේ. ඒ නිසා මේ සංචාරය අභියෝගාත්මක එකක් වේවි.’

‘ශ්‍රී ලංකා පිලට මීට වඩා හොඳින් ක්‍රීඩා කිරීමේ හැකියාව තිබෙන බව මා දන්නවා. හරි සැලැස්මක් ඇතිව ඉදිරියට ගියොත් අපිට මේ අභියෝග ජයගන්න පුළුවනි.’ ඔහු කිවේය.

ජූනි මාසයෙන් පසුව ශ්‍රී ලංකා පිලට නිසි පුහුණුකරුවකු නොසිටි බැවින් තාවකාලික පුහුණුකරු ලෙස නික් පෝතස් සිය දායකත්වය ලබාදුන් බව කී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඒ පිළිබඳ ඔහුට ස්තූතිය පළ කරන බව මෙහිදී ප්‍රකාශ කළේය.

‘අපි හතුරුසිංහව ගත්තේ සෑහෙන්න අධ්‍යයනය කරලයි. ඔහු ලොව විශිෂ්ටතම පුහුණුකරුවෙක්. ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක්. අපි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරින් සමග සාකච්ඡා කරලයි මේ පියවර ගත්තේ. බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් අපේ කැමැත්තට එකඟතාව පළ කරමින් සුබ පැතුවා.’ තිලංග සුමතිපාල මහතා කීවේය.

‘වර්තමානයේ ක්‍රිකට් පිටියේ ඇති නව තාක්ෂණය සමග ඉදිරියට යන පුහුණුකරුවෙක් විදිහට හතුරුසිංහට මේ අභියෝගය ජයගත හැකි බව අපගේ විශ්වාසයයි.’ ඔහු සඳහන් කළේය.

මේ අවස්ථාවට එක්වූ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්විමෙන් ජාතික ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට යනු ඇතැයි විශ්වාසය පළ කළේය.

‘මුලු ශ්‍රී ලංකාවම මේ අවස්ථාව උදාවනතුරු බලා සිටියා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දෙවැනි වෙන්නේ ආගමට විතරයි. ඔහුගේ පැමිණීම ගැන මා අතිශයින්ම සතුටට පත්වෙනවා.’ අමාත්‍යවරයා සඳහන් කළේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*