‘අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයකුට නම් බෑ. මම මේ ඇත්තමයි කියන්නේ. .’ 28 සුද්දී කතා කරයි

‘ඇත්තටම මගේ නිළි ජීවිතය තුළ මම ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබෙනවා. ඕනෑ තරම් වාරවලදි මගේ නම හොඳම නිළිය සඳහා නිර්දේශ වී තිබෙනවා. ඒත් ටෙලි නාට්‍ය හෝ සිනමාව වෙනුවෙන් මට සම්මාන හිමි වෙලා නෑ . මට හොඳම නිළියට සම්මානයක් හිමි වෙලා තියෙන්නේ ‘පුංචි ආදර බල කිරීමක්’ නාට්‍යයට වේදිකාවේදී විතරයි. මං හිතන්නේ ඒක මගේ නොලැබීම වෙන්න ඇති. 28 ගැන වුණත් මගේ ඒතරම් බලාපොරොත්තුවක් නැහැ. නමුත් මේ දිනවල මට ‘සුද්දි’ නිසා ලැබෙන ජනතා ප්‍රතිචාර හරිම ඉහළයි.

මට සුද්දිව හම්බ වුණා. කොහේදිවත් නොවෙයි, මෝචරියේ මිනීලෑල්ල උඩ. පියවෙලා තිබුණ ඇස් දෙක අස්සෙන් මට කඳුළු ගංගාවක් පෙනුණා. එකට එක් වුණු සීතල දෙතොලඟ මඳ සිනාවක් ද මන්ද තිබුණේ. ඒ අඳුරගන්න බැරි සිනාව ද, කඳුළ ද මැද්දෙන් සුද්දි මට ලොකු කතාවක් කිව්වා. ගැහැනියක් විදියට තවත් ගැහැනියකගේ සංවේදී කතාවකට සවන් දෙනකොට සමහර තැන්වලදී හදවත රිදෙන්න ගත්තා. ඒත් මට ‘සුද්දිට’ සවන් නොදී ඉන්න බැරි වුණා. සුද්දි වැනි චරිත අපේ සමාජය තුළ කොතෙකුත් ඇද්ද? සුද්දි කියන්නේ එවන් කාන්තා පරපුරක නියෝජනයක්ද? මම මගෙන්ම ප්‍රශ්න කර ගත්තා.

‘අබසිරි පළවෙනි වතාවට මගේ හෙළුව දැක්කේ අවුරුදු 15 කට පස්සේ. ඒකත් මෝචරියේ මිනීලෑල්ල උඩදී’

සුද්දි ආයෙත් කතාව පටන් ගත්තා. හැබැයි දැන් නම් මෝචරියේ මිනී ලෑල්ල උඩදී නොවෙයි. පියවෙලා තිබුණු දෙනෙත් සමඟ සුදුමැලි වුණු මුහුණ දැන්නම් රත්තරන් පාටින් බැබලෙන්න ගත්තා. දීප්තිමත්ව දිළිණු නෙත් සඟල තුළ දිගු ගමනක බලාපොරොත්තුවේ සෙවණැල්ල වැටී තිබුණා. රත් දෙතොල් මත ඇඳුණු විසිරුණු සිනා මලින් ඇගේ මුහුණ අලංකාර වී තිබුණා. මේ ඉන්නෙත් පෙරදා මට මුණගැසුණු සුද්දි ද? මට හිතුණා. ඔව් . . . මේ ඇයමයි. හැබැයි දැන් ඈ ‘සුද්දී’ නොව සේමිණීය.

‘සේමිණී ඉද්දමල්ගොඩ . . .’

අපි හම්බ වුණේ ‘සුද්දී’ ගැන කතා කරන්න. ඒ මේ දිනවල තිරගත වන ‘28’ චිත්‍රපටයේ ‘සුද්දී’.

‘මට නම් සුද්දිව පසුගිය දිනක මෝචරියකදී මුණ ගැහුණා. සේමිණීට කොහොමද සුද්දිව මුණ ගැහුණේ? අපේ කතාබහ පටන් ගනිමින් මම සේමිණීගෙන් ඇසුවා.

ඒ දෑස් දිලිසුණා. වසර තුන හතරක අතීත කතාවක් ඈ මතකයට නඟනවා.

‘මට සුද්දිව මුණ ගැහුණේ මීට අවුරුදු 4 කට විතර ඉස්සර. සුද්දිගේ කතාව ඒ තරම් පරණයි. ඒත් ඒ පරණකම නොදැනෙන තරමට අපේ සමාජය තුළ අදටත් සුද්දිලා ජීවත් වෙනවා. ඒ හින්දා අපේ රට තුළ තවමත් සුද්දිලා කාලීනයි. මට සුද්දිව මුණ ගැහෙන්නේ අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩි නිසාවෙන්. ඔහු නොමැති නම් කිසිම දිනක සේමිණීට ‘සුද්දි’ වෙන්න පුළුවන් වෙන්නේ නෑ. අද ඉන්න සුද්දි මවන්න මට ලේසි වුණේ නෑ. කාලයක් තිස්සේ ඒ වෙනුවෙන් කැපවෙන්න සිද්ධ වුණා. ඒ කැපවීම කරන්න අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි මට බෙහෙවින් උදව් කළා. මුල් කාලයේ මම දැනගෙන හිටියේ නෑ ‘සුද්දි’ වගේ චරිතයක් මට කරන්න තියෙනවා කියලා. ප්‍රසන්න අයියා මට බොහෝ බටහිර චිත්‍රපට ගෙනත් දෙමින් ඒවා නරඹන ලෙසත්, එම චිත්‍රපටයන්හි විවිධ චරිත රඟපෑ නළු නිළියන්ගේ රංගනය හදාරන ලෙසත් උපදෙස් දුන්නා. මගේ සමස්ත රංගන දිවියටම ඒක විශාල අත්දැකීමක් නිසා මම ඒ චිත්‍රපට උනන්දුවෙන් නැරැඹුවා. ඒ ඒ චරිත පිළිබඳ අවධානයෙන් අධ්‍යයනය කළා. ප්‍රසන්න අයියා ගෙනත් දුන්න ඒ චිත්‍රපටවල රිද්මයන් වෙනස්. එහෙම අධ්‍යයනයක නිරත වෙලා ඉන්න කොට අවසාන කාලෙදි තමයි ඔහු මට 28 චිත්‍රපටයේ ‘සුද්දි’ ගැන කිව්වේ.’

‘අපි දෙන්නා හනිමුන් එක ගත කළේ මහගෙදර ඉස්සරහ කාමරේ පොලු ඇඳේ. හරිම සද්දයි. ලාම්පුව නිවලා මෙට්ටෙ බිමට දාලා අපි දෙන්නා රඟපාන්න පටන් ගන්න කොට එළි වෙලා . . .’

ආයෙත් සුද්දි කතා කරනවා මට ඇහෙනවා.

‘සුද්දිගේ චරිතෙ මවන එක මට ලේසි පහසු කාරණයක් වුණේ නෑ. මට රඟපාන්න වුණේ තනියම. මට ප්‍රතිවිරුද්ධව රඟපාන්න කෙනෙක් හිටියේ නෑ. මම කතා කළේ මා ළඟ නැති මා දිහා බලා ඉන්න පිරිසකට. සුද්දි කියන්නේ ජීවත්වෙලා ඉන්න කෙනෙකුත් නොවෙයි. හොල්මනකුත් නොවෙයි. මළමිනියක්. මගේ චලනයන්, මගේ හැඟීම් මට ප්‍රකාශ කරන්න තිබුණේ සීමිත ඉඩකඩක්. ලොකු රාමුවක් ඇතුලේ සීමිත රංගනයක් කරන එක කොයිතරම් අමාරු ද කියලා රංගනය ගැන දන්න ඕනෑම කෙනෙක් දන්නවා. මේ හැම තැනකදීම සුද්දිව පිටිපස්සෙන් ඉඳගෙන ආරක්ෂා කළේ අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩියි. මම සුද්දි වුණාට මම මේ පෙනී සිටින්නේ සමස්ත කාන්තා පරපුර වෙනුවෙන්ම කියලා මට වෙලාවකට හිතෙනවා. ඒ තරම් ඛේදවාචකයක් මේක ඇතුළේ තිබෙනවා.’

සේමිණි කියන ඒ ඛේදවාචකය අපි 28 චිත්‍රපටය තුළ සොයන්න උත්සාහ කරනවා. අපේ රට වර්තමානය වන විටත් ධර්ම රාජ්‍යයක් ලෙසින් නම් ලබනවා. මේ තරම් බුදු බණ අසන රටක් ලෝකේ කොහේවත් නැතුව ඇති. ඒත් කාන්තාවන් සමූහ දූෂණයට ලක්වෙන්නේ, ළමා අපචාර කොතෙකුත් සිද්ධ වෙන්නේ මේ ධර්මද්වීපය තුළමයි. මේ පරස්පරභාවය තුළ ‘සුද්දි’ ආයෙත් අපෙන් ප්‍රශ්න කරනවා.

‘අලුත් අච්චු පොත් හම්බවුණාම අපි ඉක්මනට පෙරළලා බැලුවේ විද්‍යාව පොතේ අගට තිබුණ ප්‍රජනනය පාඩම. දැන් මට අවුරුදු 38 ක්. තාමත් ඒ පාඩම මට උගන්නලා නෑ . . .’

සුද්දි කියනවා වගේම සේමිණී කියන්නෙත් අපේ රටේ දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති බවයි. එහෙම නිසි අධ්‍යාපනයක් තිබුණා නම් කාන්තා හිංසන, ස්ත්‍රී දූෂණ ළමා අපචාර ද මේ තරම් දුරට අපට අසන්න නොලැබෙන්න තිබුණා.

‘චිත්‍රපටය ඇතුළතින් දිවෙන සිද්ධාන්ත එහෙම වුණාට මේ චිත්‍රපටයේ කිසිම කුණුහරුපයක් නෑ. කිසිම ලිංගික දර්ශනයක් නෑ. ඉතාමත්ම සංවරයෙන් ගැඹුරු ප්‍රශ්නයක් කලාත්මකව සාකච්ඡා කරනවා. තරුණ දියණියක් ඉන්න අම්මා කෙනෙක් විදියට මම ඉතාමත්ම වගකීමෙන් කියන්නේ මේ චිත්‍රපටය දරුවන් සමග විත්, පවුලේ අය සමඟ විත් නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. බලන් ඉන්න බැරි කිසිදු අසභ්‍ය රූප රාමුවක් නැහැ. විශේෂයෙන්ම අපේ රටේ කාන්තා පරපුරට මම ආදරයෙන් ආරාධනා කරනවා 28 චිත්‍රපටය නරඹන්න කියා. මේ ඔබ විසින් නැරැඹිය යුතුම චිත්‍රපටයක්.’

සේමිණී අපේ රටේ කලාව තුළ ස්ථාපිත වෙන්නේ ටෙලි නාට්‍ය නිළියක් විදියට. ඈ රංගනයෙන් එක් වූ පළමු ටෙලි නාටකයෙන් පසුවම ඈ පිළිබඳ අවධානය වැඩි වැඩියෙන් යොමු වුණා. මේ අතරතුර ඈට ඉඳහිට සිනමා රංගනයට අවස්ථාව ලැබුණ ද මෙතරම් කැපී පෙනන චරිතයක් හෝ මෙතරම් බැරෑරුම් චරිතයක් සිනමාව තුළ නොලද බවයි ඇගේ හැඟීම. එහෙත් රංගන ශිල්පිණියක් වශයෙන් ඈ උදයකාන්ත වර්ණසූරියගේ ‘යකඩ පිහාටු’ චිත්‍රපටය තුළ කළ සුළු භූමිකාව ද කැපී පෙනුණා. පසුගිය කාලයේ සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ ‘සිනහව අතරින්’ චිත්‍රපටයේ ඇගේ භූමිකාව වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා නිර්දේශ වූ අවස්ථා ද තිබුණා. එහෙත් තවමත් ඈ සිනමාව හා ටෙලි නාට්‍යය වෙනුවෙන් සම්මාන නොලද නිළියක්.

‘ඇත්තටම මගේ නිළි ජීවිතය තුළ මම ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබෙනවා. ඕනෑ තරම් වාරවලදි මගේ නම හොඳම නිළිය සඳහා නිර්දේශ වී තිබෙනවා. ඒත් ටෙලි නාට්‍ය හෝ සිනමාව වෙනුවෙන් මට සම්මාන හිමි වෙලා නෑ . මට හොඳම නිළියට සම්මානයක් හිමි වෙලා තියෙන්නේ ‘පුංචි ආදර බල කිරීමක්’ නාට්‍යයට වේදිකාවේදී විතරයි. මං හිතන්නේ ඒක මගේ නොලැබීම වෙන්න ඇති. 28 ගැන වුණත් මගේ ඒතරම් බලාපොරොත්තුවක් නැහැ. නමුත් මේ දිනවල මට ‘සුද්දි’ නිසා ලැබෙන ජනතා ප්‍රතිචාර හරිම ඉහළයි. බලපු හැම කෙනෙක්ම ප්‍රතිචාර දක්වනවා. පසුගිය සතියේ නුවර රීගල් සිනමා ශාලාවට ගියා. දර්ශනය ඉවරවෙන වෙලාවට තමයි අපි ගියේ. චිත්‍රපටය නරඹලා එන අය දොරකඩ ඉස්සරහ මම ඉන්න කොට පුදුම වුණා. මිනියක් වෙලා හිටපු සුද්දි ඉස්සරහ ඉන්න කොට මම හිතුවා මිනිස්සු බය වෙයි කියලා’.

චිත්‍රපටය රූගත කරත්දිත් සේමිණීට විඳින්න වුණු දේ බොහොමයි. නුවරඑළිය ආශ්‍රිතව රූගත කළ නිසාත්, චිත්‍රපටයේ චරිතයේ හැටියට රෙදි අඩුවෙන් පාවිච්චි වුණ නිසාත් ඇයට අධික ශීතලෙන් නම් දැඩි ලෙස පීඩා විඳින්න සිද්ධ වෙලා. කොයි තරම් සීතලක් ඇඟට ඉසිලුවත් මළමිනියක් වුණු සුද්දිට සීතලට ප්‍රතිචාර දක්වන්න ඉඩක් ලැබිලා නෑ. ඒත් චරිතය වෙනුවෙන් කැපවෙන නිළියක් ලෙසට මේ සියළු දුක් පීඩා ඇය සම සිතින් විඳගෙන තිබෙනවා.

අබසිරි කියන්නේ සුද්දිගේ කසාද මිනිහා. තමන්ගේ විවාහක බිරිඳගේ මිනිය නිවෙසට ගේන්න අබසිරි විඳින්නේ පුදුම දුකක්. මිනී පෙට්ටියේ නිදාගෙන ඉන්න සුද්දි දිහා බලාගෙන අබසිරි කියන්නේ. . .

‘මිනිස්සු කියන්නේ බොරු!

‘සුද්දි එහෙම කෙනෙක් නොවෙයි . . .! කියලයි. මිනී පෙට්ටිය සුද්දිට සුවදායක තැනක් වුණා වගේම සේමිණීටත් ඒක සුවදායක තැනක් වෙලා.

‘හුඟාක් දෙනෙක් මගෙන් ඇහුවා මිනී පෙට්ටියේ නිදාගන්න බය හිතුණේ නැත්ද කියලා. ඔය භය මම මුලින්ම අත්වින්දේ ‘ස්වයංජාත’ ටෙලි නාට්‍යයේදී. එදා මිනී පෙට්ටියේ නිදා ගනිත්දි නම් මට ගෙදර අය ඔක්කොම මතක් වුණා. එදා දැනුණ බයටයි දුකටයි මම මහ හයියෙන් අඬන්න පටන් ගත්තා. ඒක දැකලා වටේ හිටිය අයත් ඇඬුවා. හැබැයි 28 කරත්දි මට ඒ බය දැනුණේ නෑ. ස්පොන්ජ් කරලා හරිම සුවදායක විදියට මිනී පෙට්ටිය හදලා තිබුණා. සමහර වෙලාවලට මට ඒකෙම නින්ද ගියා. විවේක වෙලාවලට නිදාගන්නත් පාවිච්චි කළා.’

සුද්දිව අපට ඇහෙන්නේ ඒ මිනීපෙට්ටිය තුළින්. සේමිණීගේ නින්දට ඒක බාධාවක්. ඒත් හීනෙන් වගේ ආයෙත් මට සේමිණීගේ මූණ මැදින් මැවෙන්නේ ‘සුද්දී’ . . . අබසිරිගේ සුද්දී එහෙම කෙනෙක් නොවෙයි’ කියන වචන මැද්දේ පෙට්ටියෙන් නැඟිටින සුද්දී . . .

‘අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයකුට නම් බෑ. මම මේ ඇත්තමයි කියන්නේ. . . (සුද්දී . . .)’

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*