හානියට පත් පාසල් තිබුණාට වඩා හොදින් ගොඩනගනවා – අගමැති රනිල්

ආපදාවෙන් අනතුරුව කඩිනමින්ම විනාශ වූ ආර්ථිකය නගා සිටුවීමට අප තීරණය කල බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද මොරවක, කොටපොල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය නිලධාරින් සමග පැවති සාකච්ඡාවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“ගංවතුරෙන් ආපදාවට පත් ජනතාවට එම අවස්ථාවේම සහන සැලසීමට රජයක් ලෙස අපි ක්‍රියා කළා. ගංවතුර ආපදා තත්වය මේ වන විට අවසන් වී තිබෙනවා. දැන් සිදු කිරීමට තිබෙන්නේ ආපදාවට පත් ප්‍රදේශ නැවතත් යථා තත්වයට පත්කිරීමයි. ඒ පිළිබද කරුණු අවබෝධ කරගනිමින් සහ සාකච්ඡා කරමින් අවශ්‍ය සහන සැලසීමට අප කටයුතු කරනවා. පසුගිය අඟහරුවාදා දිනයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍යවරුන් සහ නිලධාරින් සහභාගි වූ සාකච්ඡාවේ දී මේ පිළිබදව අවශ්‍ය කටයුතු සිදු කිරීමට අප තීරණය කළා.

මීට පෙර අදහස් දැක්වූ ඇමතිවරුන් දෙදෙනාම පැවසූ පරිදි සහන සැලසීමේ කටයුතුවල දී අප සාර්ථක ලෙස ක්‍රියා කළේ කෙසේදැයි විශේෂයෙන් මා පැවසිය යුතුයි. එලෙස සාර්ථක වීමට හැකි වූයේ එම අවස්ථාවේදී දක්ෂ ලෙස ක්‍රියා කළ නිලධාරින් නිසයි. බදාදා පස්වරුව වන විට ගංවතුර තත්වයක් ඇති විය හැකි යැයි තොරතුරු ලැබී තිබුණා. ඊට සූදානම් වීමට බ්‍රහස්පතින්දා දිනයේ අප වැඩකටයුතු රාශියක් සිදුකළා. ස්වදේශ කටයුතු අමාත්‍යවරයා දිසා ලේකම්වරුන්ගේ හමුවට පැමිණ සිටි නිලධාරීන් දැනුවත් කොට වහාම ඔවුන්ගේ ප්‍රදේශ කරා පිටත්කර හැරියේ ඇති වන ගංවතුර තත්වයට මුහුණ දීමට උපදෙස් ලබාදීමෙන් අනතුරුවයි. එමෙන්ම පොලිසියත්, නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවත් ආපදා තත්වයට මුහුණ දීමට සූදානමින් තැබුවා.

එදින රාත්‍රියේ වාර්ෂාව දැඩි ලෙස ලැබීම හේතුවෙන් තත්වය තවත් බරපතල වූ අතර මෙම කොටපොළ මෙන්ම කුකුළේගඟ ඇතුළු අවට ප්‍රදේශ රැසකට විශාල ගංවතුර තත්වයක් ඇතිවුණා. 2003වසරේ ඇතිවූ විශාල ගංවතුරට සමාන ආපදාවකට මුහුණ දීමට අපට සිදුවුණා.

එම ආපදා තත්වයේදී ජනතාවට සහන සැලසීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අපට හැකිවුණේ පෙර සිටම සැලැස්මක් තිබූ නිසයි. සිකුරාදා උදෑසන සිට ආපදා කළමණාකරණ අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ආයතන යොදා ගනිමින් සහන සැලසීමේ කටයුතු මෙහෙයවීමට කටයුතු කළා. ඒ සියළු මෙහෙයුම් කටයුතු සාර්ථක වුණේ සියළුම රාජ්‍ය නිලධාරින් කැපවීමෙන් වැඩකළ නිසයි. ඔවුන් සියළු දෙනාම තම ජීවිත හෝ දේපල පිළිබද නොසිතා ආපදාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සදහා උපරිමයෙන් දායක වුණා. රාජ්‍ය සේවකයන් පමණක් නොව පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවත් මෙම කටයුතු සදහා විශාල දායකත්වයක් ලබා දුන්නා.

නෙළුව ප්‍රදේශයේ සහන සැලසීමේ කටයුතු වලදී ජිවිතක්ෂයට පත්වූ ගුවන් හමුදා නිලධාරියා ගැන විශේෂයෙන් සිහිකළ යුතුයි. එවගේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, පළාත් සභා මන්ත්‍රිවරුන් ආදී සියළුම දේශපාලඥයන්ද මෙම අවස්ථාවේදී විශාල දායකත්වයක් ලබා දුන්නා. සහන සැලසීමේ කටයුතු සාර්ථක වුණේ මේ සියළු දේ නිසයි.

විනාශයට පත්වූ සියළු ප්‍රදේශ සහ දේපල හඳුනාගෙන ඒවා යථා තත්වයට පත්කිරීම දැන් සිදු කළ යුතුව තිබෙනවා. රටේ පවතින මුල්‍ය තත්වය මත මේ පිළිබදව සාකච්ඡා කරමින් ජනතාවට අවශ්‍ය විසදුම් ලබාදීමට අප සූදානම්. ආපදාව සිදුවූ සතියේ සෙනසුරාදා දිනයේ ජනතාවට සහන සැලසීමට ප්‍රධාන තීරණ දෙකක් අප විසින් ගනු ලැබුවා. ඉන් පළමුවැන්න ලෙස ජනාධිපතිතුමා කළුතර ප්‍රදේශයේ සංචාරය කරමින් හානි වූ නිවාස සදහා අවශ්‍ය මුදල් ලබාදීමට තීරණය කළා. හානිවූ ජන ජීවිත යථා තත්වයට පත්කිරීම නම් පළමුවෙන්ම ජනතාවට නිවාස පහසුකම් සලසාදිය යුතුයි. දෙවන තීරණය ලෙස ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරන ආකාරය පිළිබදව අදාල බලධාරින්ට උපදෙස් මා  ලබා දුන්නා. එහි පියවර කීපයක් ක්‍ෂණිකව ක්‍රියාත්මක කිරීමට ද අපට හැකි වුණා.

නිවාස ලබාදීම සදහා සම්පූර්ණ, අර්ධ සහ සුළු වශයෙන් හානියට පත්වූ නිවාස පිළිබද අප වාර්ථාවක් ලබා ගත්තා. එහි 50% මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා.  එම නිවාස සදහා ආධාර ලබාදීමට මහ බැංකුව හරහා රුපියල් මිලියන 15 – 20ත් අතර මුදලක් මේ වන විට අප ලබාගෙන තිබෙනවා. එම මුදලින් හානියට පත් සියලූ නිවාස සදහා ආධාර ලබාදීමට අප කටයුතු කරනවා. නමුත් ඊට පෙර නිවාස අහිමිව කුඩාරම්වල ජීවත්වන ජනතාවට කුලි පදනම මත නිවාස සොයා ගැනීම සදහා අවශ්‍ය මුදල් ලබාදීමට අප තීරණය කර තිබෙනවා. ඉන් පසුව එම ජනතාවට සිය නිවෙස් නැවත ඉදිකර ගැනීම සදහාත් මුදල් ලබාදෙනවා. මේ වන විට ඊට අදාල තක්සේරු කිරීම්ද අවසන් කර තිබෙනවා. මේ සදහා මහා භාණ්ඩාගාරය වෙනත් අරමුදල් විදේශ ආධාර සහ පුද්ගලික පරිත්‍යාගශීලින් ඉදිරිපත් වී තිබෙනවා.

මෙවර ආපදාවෙන් අනතුරුව කඩිනමින්ම විනාශ වූ ආර්ථිකය නගා සිටුවීමට අප තීරණය කළා. 2003දී සහ සුනාමි අවස්ථාවේදී විනාශ වූ ගොඩනැගිලි සහ නිවාස ඉදිකළත් විනාශ වූ ආර්ථිකය නගා සිටුවීමට අමතක කළා. නමුත් මෙවර ආපදාව සිදුවූ අවස්ථාවේදීම මහ බැංකුවෙන් රුපියල් බිලියන දෙකක මුදලක් මම ඉල්ලා සිටියා. මෙම ප්‍රදේශවල ආර්ථිකය නැවත නගාසිටුවීමට සහ ජනතාවට අවශ්‍ය ණය මුදල් ලබාදීමට අප එය යොදවනවා.

ආපදාවට පත්වූ ප්‍රදේශවල විශාල කර්මාන්ත ශාලා ඉදිකරමින් ග්‍රාමීය ආර්ථිකය නැවත නගා සිටුවීමට උපකාර කිරීමට තමන් සූදානම් බව පුද්ගලික ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ද මා සමග පවසා සිටියා. ඒ සදහා අවශ්‍ය මුල්‍යාධාර ලබාදීමටත් අප සූදානම්.  මේ ප්‍රදේශවල කුඩා ව්‍යාපාර සදහා ආධාර ලබාදීමට විශේෂ ණය ක්‍රමයක් සහ යෝජනා කීපයක්ම අපට ලැබී තිබෙනවා. මුදල් අමාත්‍යාංශය හරහා ඒ පිළිබද සාකච්ඡා කරමින් ලබාදිය හැකි මුල්‍යාධාර වෙන්කිරීමට අප කටයුතු කරනවා. ආපදාවට පත්වූ දේපල සදහා රක්ෂණාවරණ ලබාදීමට රක්ෂණ ආයතන තවමත් ඉදිරිපත් වී නැතැයි චෝදනාවක් එල්ල වෙනවා. ඒ පිළිබදව අප සලකා බලා කටයුතු කරනවා. හානිවූ දේපල වෙනුවෙන් ජනතාවට රක්ෂණ මුදල් ලැබෙනවා නම් ප්‍රදේශයේ ආර්ථිකය නැවත සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙනවා.  මේ ප්‍රදේශවල ඇතැම් නගර මුළුමනින්ම ජලයෙන් යටවුණා. ඇතැම් නගරවල කොටසක් ජලයෙන් යටවූ අතර හානි නොවූ නගරත් තිබෙනවා.

මේ ප්‍රදේශයේ ආර්ථිකය විශාල වශයෙන් රදා පවතින්නේ තේ කර්මාන්තය මතයි.  දකුණේ ආර්ථිකය පිළිබද සලකා බලන විට සංචාරක සහ ධීවර කර්මාන්තය වෙරළබඩ ප්‍රදේශයන්හි තිබෙන අතර දකුණේ අභ්‍යන්තර ප්‍රදේශවල තිබෙන්නේ තේ කර්මාන්තයයි. ආපදාව හේතුවෙන් තේ කර්මාන්තයට සිදුවී ඇති ප්‍රධානම බලපෑම නම් මාර්ග පද්ධති හානියට පත්වී තිබීමයි. තේ දළු කර්මාන්ත ශාලා සදහා ගෙනයාම පහසුකරවීමට ප්‍රාදේශීය සභා පළාත් සභා මාර්ග පද්ධති සහ පාලම් කඩිනමින් පිළිසකර කළ යුතු වෙනවා. ආපදාවට පත්වූ දිස්ත්‍රික්ක 05ම සලකා බලන විට අක්කර 3000ක පමණ තේ වගාවට හානි සිදුවී තිබෙනවා. එමනිසා එම තේ කර්මාන්තය නැවත නගා සිටුවීමට නිවාස ඉදිකරදීමට ආර්ථිකය නගා සිටුවීමට අප කටයුතු කරනවා.

එමෙන්ම හානියට පත් වාරිමාර්ග සෞඛ්‍ය සහ පාසල් පද්ධති ද නැවත පිළිසකර කිරීමට සිදුව තිබෙනවා. පිටබැද්දර ප්‍රදේශයේ ඊයේ දිනයේ නිරීක්ෂණය කරන විට ජනතාව වාර්ෂාවට බියක් දක්වන බව මට පෙනුනා. ඊයේ රාත්‍රියේදී මටත් වර්ෂාව පිළිබදව සැකයක් ඇතිවුණා. එමනිසා වර්ෂාවෙන් ජනතාවට ඇතිවන බිය පහකරමින් ඔවුන්ට වෙනත් වාසස්ථාන ලබාදීමටත් අප ඉදිරියේදී කටයුතු කරනවා.

චන්දිම රාසපුත්‍ර ඇමතිතුමා පැවසූ ආකාරයට පළාත් සභාවලට අවශ්‍ය ආධාර මුදල් ලබාදීම සිදුකළ යුතුව තිබෙනවා. දේශපාලන බේදයකින් තොරව පළාත් සභා, මධ්‍යම ආණ්ඩුව ඇතුළු සියළුම දෙනා මෙම ආපදා අවස්ථාවේදී කටයුතු කළ නිසා සහන සැලසීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අපට හැකි වුණා. දැනට පවතින අයවැයෙන් ඇතැම් ව්‍යාපෘති සදහා මුදල් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඇතැම් සහන සැලසීමේ ව්‍යාපෘති සදහා මුල්‍යාධාර සොයා ගැනීමට අපට සිදුවනවා. අයවැයේ අත්‍යවශ්‍ය නොවන මුදල් වෙන්කිරීම්, මධ්‍යම ආණ්ඩුවෙන් සහ විදේශ ආධාරවලින් අප අවශ්‍ය මුදල් ලබාගන්නවා.

දිවයිනේ සමස්ත ආපදාව පිළිබද ඇස්තමේන්තුවක් අපට තවමත් ලැබී නැහැ. බිලියන පනහක් සීයක් අතර මුදලක් ඒ සඳහා අවශ්‍ය වනු ඇති බව මහ බැංකුව පවසනවා. ඒ සඳහා මුදල් ලබාගැනීමට දැන් අපට සිදුවෙනවා.

ආපදාවට ලක්වූ ජනතාව නැවත පදිංචි කිරීමට සහ නැවත මෙම ප්‍රදේශ නාය යාමකට ලක් නොවීම සදහා අවශ්‍ය පියවර ගැනීමටත් අප කටයුතු කරනවා. එයටත් විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. ඉදිරි වසර පහ හය තුල මෙය සිදුකිරීමටයි අප බලාපොරොත්තු වන්නේ ඒ සදහා විදේශ ආධාර සහ රටේ මුදල්ද යෙදවීමට සිදුවෙනවා. මෙවැනි ආර්ථික ගැටළු සදහාත් මුහුණ දෙමින් අප මෙම සහන සැලසීමේ වැඩකටයුතු සිදු කළ යුතුයි.

ඊයේ සහ අද දිනයේ මෙම ප්‍රදේශයන්හි සංචාරය කරමින් මෙම ප්‍රදේශය යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු පිළිබදව අවබෝධ කර ගැනීමට මට හැකියාව ලැබුණා. විශේෂයෙන් මෙම දිස්ත්‍රික්ක පහ තුල හානිවූ ඉඩම් පිළිබද වාර්ථාවක් ලබාගැනීමෙන් අනතුරුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත් සහ වැවිලි සමාගම් එකතුකර ගනිමින් එම ඉඩම් සදහා වන්දි ලබාදීමට අප කටයුතු කරනවා. “

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*