මාර්තු 26 හිරු සලකුණු නොවුනේ නම් ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් ම අයුරකින් ලියවෙනවා

“යහපාලන ආණ්ඩුව පිහිටුවා ගන්නා ලද්දේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ආසන 106 ක් ජයග්‍රහණය කළ එ.ජා.ප.ය සහ එ.ජ.නි.ස. ජයග්‍රහණය කළ 95 දෙනාගෙන් ජනාධිපතිගේ පාර්ශ්වය නියෝජනය කළ මන්ත්‍රීවරු 43 ක ප්‍රමාණයක් එක් වෙමිනි. රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිධුරය යටතේ ආණ්ඩුව ගෙන ගිය බොහෝ වැඩපිළිවෙලවල් පිළිබඳ ජනාධිපති සහ ඔහුගේ පාර්ශ්වයේ මැති ඇමතිවරු අප්‍රසිද්ධියේ මෙන් ම ප්‍රසිද්ධියේ ද ඉතා දැඩි විවේචන එල්ල කළහ. එහෙත් එ.ජා.ප.ය නොමැති ව ආණ්ඩුවක් සැදීම සඳහා බහුතර මන්ත්‍රී සංඛ්‍යාව එකතු කර ගැනීමට ජනාධිපතිට කිසිදු ක්‍රමවේදයක් නොවුනි. පසුගිය දෙසැම්බර් මාසයේ අයවැය ලේඛනය සම්මත කිරීමේ දී අගමැති වෙනස් කොට වෙනත් අගමැතිවරයකු යටතේ ආණ්ඩුවක් සාදන බවට ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටියේ ය. එ.ජ.නි.ස.යේ 95 දෙනා එකට හිටගත්තේ නම් හෙට වුව ද ශ්‍රි.ල.නි.ප. ආණ්ඩුවක් පිහිටුවන බවට ජනාධිපති මැතිවරණ වේදිකා වල මහ ඉහළින් අභියෝගාත්මක ප්‍රකාශ කළේ ය.”

මේ බව ප්‍රකාශ කළේ හිටපු අධිකරණ ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහකා හිරු සලකුණු රූපවාහිනී වැඩසටහනට එක්වෙමිනී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා,

“පසුගිය දෙසැම්බර් මස අයවැය විවාදය අතරතුර එ.ජා.ප.ය තුළ පැවතියේ සීතල යුද්ධයකි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉවත් කොට කරු ජයසූරිය අගමැති ලෙස පත් කිරීමට ගෙනගිය උත්සාහයට ජනපතිගේ නොමඳ ආශිර්වාදය ලැබුණි. එහෙත් අවසානයේ දී කරූ එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළේ ය. ඉන් අනතුරුව මහ බැංකු බැඳුම්කරය පදනම් කරගෙන අගමැතිට එරෙහි විශ්වාසභංගය කරළියට පැමිණියේ ය. ජනපති පාර්ශ්වයේ මන්ත්‍රීවරු සහ සුළු පක්ෂ වල සහාය නොමැති ව එය ජයග්‍රහණය කළ නොහැකි බවට සැකයක් නොවීය. ජනාධිපති පාර්ශ්වය ඊට සහාය දෙන බව තහවුරු කිරීම පිණිස සංකේතවත් ලෙස එම පාර්ශ්වයේ හතර දෙනෙකු විශ්වාසභංගයට අත්සන් කළහ. රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් පැවසුවේ රනිල් සමඟ තවදුරටත් ගමනක් යා නොහැකි හෙයින් විශ්වාසභංගයේ දී දැඩි තින්දූවක් ගන්නා බවයි. එහෙත් ඔහුත් ජනාධිපති පාර්ශ්වයේ තීන්දුව ලැබෙන තෙක් ඔවුන්ගේ තීන්දුව ගැනීම කල් දමමින් ප්‍රමාද කළේ ය.

අගමැති ස්ථාවර ව සිටියහොත් විස්සයි-විස්ස ජනාධිපති මැතිවරණයේ දී ජනපතිට පොදු අපේක්ෂකයකු විය නොහැකි හෙයින් ඔහු ඉවත් කර එ.ජා.ප.යේ දුර්වල තැනැත්තකු අගමැතිවරයා බවට පත්කර ගතහොත් ජනපතිට ඊළඟ ජනාධිපතිවරණයේ දී එ.ජා.ප.ය හරහා පොදු අපේක්ෂකයකු වීමට බලාපොරොත්තුවක් තිබූ බව තතු දන්නෝ පවසති. එම උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම සඳඟහා මාධ්‍ය ආයතනයක හිමිකරුවකු ද ප්‍රබල සහයෝගයක් ලබා දුනි. දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙන් ම පොදුජනතාවගේ අති බහුතර මතය වූයේ විශ්වාසභංගය මගින් රනිල්ගේ දේශපාලන ගමනේ අවසානය සනිටුහන් වන බව ය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් නිසාවෙන් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා අගමැති සිහිනය දකිමින් සිටියේ ය. එස්.බී. දිසානායක, තිලංග සුමතිපාල වැන්නන් විශ්වාසභංගයට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේ රනිල් ඉවත් කිරීමේ සටනට ජනාධිපති පුද්ගලික ලෙස ම අවතීර්ණ වී ඇති බව පවසමිනි.

එහෙත් ඒ සියල්ල ජනපති ඇතුළු කණ්ඩායමට පාරාවලල්ලක් වේ යැයි ඔවුන් කිසිවිටකත් නොසිතූහ. මාර්තු 26 වන දින හිරු නාළිකාවේ විකාශය කළ සලකුණ වැඩසටහන එහි හැරවුම් ලක්ෂය විය. ඊට සහභාගී වූයේ අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම කඩ කළ බවට චෝදනා කරමින් අමාත්‍ය ධුර වලින් ඉවත් කළ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ය. ඔහු අපක්ෂපාතී ලෙස බොහෝ පාර්ශ්වයන්ට රිදෙන ලෙස ප්‍රකාශ කළ අදහස් නිසා මෛත්‍රී පාර්ශ්වය කම්පනයට පත් විය. ඊට හේතු වූයේ ඔහු ඉදිරිපත් කළ පහත සඳහන් තර්කයන් ය. එනම්;
1. විශ්වාසභංගයේ සඳහන් ප්‍රධාන චෝදනා අතර මහ බැංකුව අග්‍රාමාත්‍යවරයාගේ අමාත්‍යංශයට ගැසට් කිරීම සහ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීම යන කාරණා දෙකෙන් අගමැතිවරයා දැරිය යුත්තේ 25% ක වගකීමක් පමණක් බවත්, ඉතිරි 75% වගකීම පැවරෙනුයේ ජනාධිපතිවරයාට බවත් ඔහු පැවසුවේ ය.

එම චෝදනා අගමැතිට එරෙහි ව විශ්වාසභංගයක් ලෙසට මතුපිටින් පෙනුනත් ජනාධිපතිවරයාට එරෙහි ව දෝෂාභියෝගයක් බව ද ඔහු පැවසී ය.

  1. විශ්වාසභංගයෙන් අගමැති ඉවත් කරනු ලබන්නේ නම් ඊළඟට පත්වන පුද්ගලයා එම තනතුරට ගැලපෙන්නේ ද නැද්ද යන්න තීරණය කළ හැක්කේ එකී යෝජිත අනුප්‍රාප්තිකයා කවුරුන්දැයි යන්න හඳුන්වා දුනහොත් පමණක් බවට තර්කයක් ඉදිරිපත් කළේ ය. කොරෙක් දී අන්ධයෙන් ලබා ගැනීමෙන් කිසිදු ඵලක් නැතැයි ද යන්න සඳහන් කළේ ය.

විජයදාස ඉදිරිපත් කළ කරුණු වල බැරෑරුම් කම අවබෝධ කරගත් නිසාවෙන් දින තුනක් ගතවීමට මත්තෙන් මහ බැංකුව අගමැතිගෙන් ඉවත් කොට මුදල් අමාත්‍යංශය යටතට ගැසට් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කළේ ය.

ඉතා පහසුවෙන් ජයගත හැකි යැයි සිතූ විශ්වාසභංගය එවක් පටන් වෙන ම දිශානතියකට හැරුණේය. විශේෂයෙන් ම එ.ජා.ප.යේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින් සිටි විජයදාස වැනි කෙනෙක් එවැනි බරපතල ප්‍රකාශයක් කිරීම තුළ එ.ජා.ප. පාක්ෂිකයන්ට නව ජවයක් සේ ම විශ්වාසභංගය ගෙන ආ පාර්ශ්වයන් විශාල අර්බුදයකට මුහුණ පෑවේ ය. ඒ නිසාවෙන් ම එ.ජා.ප. නායකයා ඉවත් කළ යුතු යැයි දැඩි මතධාරී ලෙස සහ විප්ලවකාරී ලෙස කටයුතු කළ මැති ඇමතිවරු ද අඩියක් දෙකක් පස්සට ගත්හ.

ඊළඟ ජනාධිපතිවරණයේ දී එ.ජා.ප.ය හරහා පොදු අපේක්ෂකයා වීමේ සිහිනය බොඳ වීමත් සමඟ කෙසේ හෝ අගමැතිට ඇටවූ මර උගුලෙන් තමන් බේරෙන්නේ කෙසේදැයි යන්න ජනාධිපතිවරයා කල්පනා කරන්නට විය. විශ්වාසභංගය ජයග්‍රහණය කරනවා ද නැද්ද යන්න පිළිබඳ ව තීරණාත්මක සාධකය වූයේ සුළු පක්ෂ නිසාවෙන් ඔවුන් තවදුරටත් විශ්වාසභංගයට පක්ෂ වීම වැළැක්වීමේ අරමුණින් ජනාධිපති පාර්ශ්වයේ තීරණය අප්‍රේල් 04 උදේ වරුව දක්වා කල් දැමීය. ජනාධිපති පාර්ශ්වයේ ස්ථාවරය පිළිබඳ සුළු පක්ෂ වලට එමගින් ලැබුණ ඉඟියත් සමඟ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, දිගම්බරන් සහ මනෝ ගනේෂන් නායකත්වය දරන සුළු පක්ෂ මන්ත්‍රීවරු සිය ජාමය බේරගනු පිණිස ගතයුතු හොඳ ම ක්‍රියාමාර්ගය විශ්වාසභංගයට එරෙහි වීම බවට තීරණය කළහ.

අනපේක්ෂිත ලෙස සිදු වූ එම තීරණයත් සමඟ ජනපති පාර්ශ්වය නැවතත් කොටස් දෙකකට බෙදුනි. ඉන් 16 දෙනෙකු ඊට පක්ෂ ව ඡන්දය දුන් අතර 23 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඡන්දය දුන් පාර්ශ්වය වෙනුවෙන් තිලංග සුමතිපාල පැවසුවේ එය ජනපතිගේ තීරණයක් අනුව සිදු වූ බවයි. අනෙක් අතට ඡන්දය දීමෙන් වැළකී සිටි අය පැවසුවේ පරස්පර විරෝධී අදහස් ය. ඒ අනුව දෙකඩ වී තිබූ ශ්‍රි.ල.නි.ප. ය දැන් තුනකට කැඩී ඇත.

අනෙක් අතට දෛවයේ සරදමකට මෙන් රනිල් වික්‍රමසිංහට සහ එ.ජා.ප.යට එය වෙස්වලාගත් ආශිර්වාදයක් බඳු විය. පූජ්‍ය රතන හිමි හැර පක්ෂයේ අන් සියලු මන්ත්‍රීන් එක ස්ථාවරයක සිට විශ්වාසභංගය පරාජය කළහ.

විශ්වාසභංගය සම්මත වූයේ නම් ඒ තුළ ගැබ් ව තිබූ චෝදනා මත ජනාධිපතිට එරෙහි ව දෝෂාභියෝගයකට ශක්තිමත් ආකාරයෙන් කරුණු පෙළගැසී තිබීම හේතුවෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය දෙදරීමත්, විශ්වාසභංගය ජයගතහොත් ඊට උරණ වන එ.ජා.ප. පාක්ෂිකයන් නිසැක ව ම ජනපතිට එරෙහි ව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඇති ශක්‍යතාව කිසිසේත් බැහැර කළ නොහැකි බව ජනපතිට ද අවබෝධ විය. එවැනි දෝෂාභියෝගයක් එන්නේ නම් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ මන්ත්‍රීවරු 55 දෙනා ඉතා සතුටු සිතින් ඊට සහාය දක්වන බව හොඳාකාර ලෙස දන්නා නිසාවෙන් විශ්වාසභංගයේ අරමුණු සී සී කඩ විසිර ගියේ ය. යම් හෙයකින් මාර්තු 26 හිරු සලකුණු නොවුනේ නම් ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් ම අයුරකින් ලිවීමට අවකාශය තිබුණි.”

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*