වර්තමාන ශ්‍රී ලංකාව වෙනස් කළ පුද්ගලයන්ගේ නාම ලේඛනයේ ලෙස්ටර්ගේ නමත් ඇතුළත් – අගමැති

සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛෂ්ණාවි චිත්‍රපටයේ  මංගල දර්ශනය සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ඡන්ම දින සැමරුම වෙනුවෙන් 2018 අප්‍රේල් 05 වන දින කොළඹ රීගල් සිනමා ශාලාවේ පැවති උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

1956 වසරේදී මෙම ශාලාවේ උඩු මහලේ සිට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පළමු චිත්‍රපටය, රේඛාව නැරඹිමට මට අවස්ථාව උදා වුණා.  රේඛාව මංගල දර්ශනය දවසේ චිත්‍රපටය නැරඹිමට මගේ මවට ආරාධනා කර තිබුණත් එතුමිය තරමක් ප්‍රමාදව පැමිණි නිසා අපට අසුන් ගැනීමට සිදුවූයේ ගැලරියේයි. මේ කතාව සුමිත්‍රා පිරීස් මහත්මිය නිතර නිතර මතක් කරනවා. මගේ පියාත්, මවත්, සහෝදරයාත් සමඟ මම චිත්‍රපටය නැරඹුවත් ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු කවුදැයි මා දැන සිටියේ නැහැ. අපිට වැදගත් වුණේ අපේ නැන්දා වන අයිරාංගනී සේරසිංහ මහත්මිය චිත්‍රපටයේ රඟපෑමයි.

සාම්ප්‍රදායික කලාව පදනම් කරගනිමින්, නව නිර්මාණ ඇති කළ එදිරවීර සරත්චන්ද්‍ර, ජෙෆ්රි බාවා වැනි කලාකරුවන්ගේ ශක්තිය ලෙස්ටර් ජේම්ස් පීරිස් තුලත් පැවතුණා. ඔහුගේ නිර්මාණ සඳහා දායකත්වය ලබා දුන් අය අතර සරත් විජේසිංහ, එච්. ඩබ් ජයවර්ධන, ජෝර්ජ් කිටි වැනි අයත් සිටියා. රේඛාව චිත්‍රපටයේ කොටසක් රූගත කිරීම් කලේ ජේ. ආර්. ජයර්ධන මහතා සතු බියගම මානෙල්වත්ත ඉඩමේයි.

සුනිල් ශාන්තගේ සහ සිසිර සේනාරත්න එකතුවෙන් නිර්මාණය වුණු ෙඕලූ නෙළුම්ෙ ගීතය රට පුරා ප්‍රසිද්ධ වුණා. ඉන් පසුව පැමිණි චිත්‍රපටය සෙංදේශයයි. එම චිත්‍රපටය පළමුවෙන් තිරගත වූ රේඛාවට වඩා වෙනස් චිත්‍රපටයක්. පෘතුගීසිකාරයා “රැජින මමයි” ගීත මෙම චිත්‍රපටයෙන් ජනප්‍රිය වුණා. ඒ ගීත ලිව්වේ අරිසෙන් අහුබුදු. ඒවා එතෙක් එතුමා ලියූ ගීත සම්ප්‍රදායෙන් වෙනස් ඒවා වුණා.  ඉන් පසුව ගෙම් පෙරළියෙ චිත්‍රපටයත් නැරඹිමට මට අවස්ථාව උදා වුණා. මා දැක තිබෙන හොඳම චිත්‍රපටයක් ලෙස ගෙම්පෙරළියෙ  හැදින්විය හැකියි. එය කළු සුදු චිත්‍රපටයක් වීම නිසා එහි වටිනාකම තවත් වැඩිවෙනවා. පසුබිම් ගීත නොමැති පළමු සිංහල චිත්‍රපටය ලෙසත් එය හඳුන්වන්නට පුළුවන්.  එහි පසුබිම් ගායනයක් ලෙස භාවිත කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දරු නැලවිල්ලක් පමණයි. කිසිදු සංගීත භාණ්ඩයක ආධාරයක් නොමැතිව එය ගායනා කෙරෙනවා. නමුත් ඒ දරු නැළවිල්ලේ මිහිර අදත් අපිට දැනෙනවා.

60 දශකයේ මා නැරඹු හොඳම චිත්‍රපට දෙක අතුරින් එකක් වන්නේ ඩේවිඩ් ලීන්ගේ “ඩොක්ටර් ශිවාගෝ” චිත්‍රපටයයි. රුසියානු විප්ලවයෙන් ඇතිවූ පරිවර්තනය ඉන් නිරූපනය කරනවා. එම දශකයේ මා දුටු අනෙක් හොඳම චිත්‍රපටය වන්නේ ගම්පෙරළියෙන් නිරූපණය වෙනවා. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ “යුගාන්තය” සහ “කලියුගය” කෘතින් ද ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් චිත්‍රපට බවට පත් කළා. මේ චිත්‍රපට ත්‍රිත්වයෙන් නිරූපණය වෙන්නේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනයක පසුබිමයි.

“දෙලොවක් අතර”, “ගොළු හදවත”,  “දෑස නිසා” ආදි චිත්‍රපට ගණනාවක් ලෙස්ටර් නිර්මාණය කළා. ඒ අතුරින් “නිධානය” චිත්‍රපටය වැඩි වශයෙන්  මගේ මතකයේ තිබෙනවා. එම චිත්‍රපටය රූගත  කිරීමේදී යොදා ගත්තේ ෆෙඩ්රික් ඔබේසේකරගේ රාජගිරියේ තිබූ ඔබේසේකර වළව්වයි. චිත්‍රපටය රූගත කරන කාලයේ මට එම නිවසට යන්න එන්න අවස්ථාව ලැබුණා. ඒ මගේ මිත්‍රයෙකු ඒ නිවසේ සිටි නිසයි. නිධානය මගේ මතකයේ වැඩියෙන් රැඳෙන්නට ඒකත් එක හේතුවක් වෙන්න ඇති.

අවස්ථාව ලැබෙන හැම විටම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිර්මාණ නැරඹිමට මා අමතක කලේ නැහැ. ඇතැම් නිර්මාණ දෙවන සහ, තෙවන වරත් නැරඹිමට මා පෙළඹුණා.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට මෙවැනි විශාල වැඩකටයුතු ඉටුකිරීමට සහයෝගය ලබාදුන් කිහිප දෙනා අතර පළමුවෙන්ම සිටින්නේ සුමිත්‍රා පීරිස් මහත්මියයි. ටයිටස් තොටවත්ත  විනි බ්ලේක් වැනි අයත් ඔහුට සහයෝගය ලබා දුන්නා. ඒ වන විට විලී බ්ලේක්ට, ඩේවිඩ් ලීන් ශ්‍රී ලංකාවේ රූගත කළ “බ්‍රිජ් ඔන් ද රිවර් ක්වයි” චිත්‍රපටයට සහභාගි වී අත්දැකීම් ලැබී තිබුණා. මේ සියළු දෙනා නිසා ශ්‍රී ලංකා සිනමා කර්මාන්තයේ විශාල විප්ලවයක් සිදුවුණා. 60 දශකය අවසන් වන විට ලෙස්ටර් ජේම්ස් පීරිස් පිළිවෙත අනුගමනය කරමින් චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නිර්මාණය වුණා.

එතුමාව මා පළමුව දැන හඳුනාගත්තේ මගේ දෙමව්පියන්ගේ මිත්‍රයෙක් ලෙසයි. එතුමාගේ සහෝදරයා වන චිත්‍ර ශිල්පි අයිවන් පීරිස් ද මා හඳුනාගෙන සිටියා. මම පාසල් යන අවධියේ සරසවි චිත්‍රපට උළෙලේ සංවිධාන කටයුතුවලට මගේ මාමා වන රංජිත් විජේවර්ධන මහතා සමඟ සහභාගි වුණා. එම චිත්‍රපට උළෙලට එතුමා සුමිත්‍රා පීරිස් මහත්මිය සමඟ පැමිණ සිටියත් ඒ කාලයේ ඔවුන්ට මා මතක ඇති යැයි මා සිතන්නේ නැහැ. පාසල් යන අවධියේ මා එතුමාව හඳුනාගත්තේ ඒ ආකාරයටයි. නමුත් පසුව දේශපාලනයට පිවිසීමෙන් පසුව එතුමාව හඳුනා ගැනීමටත්, එතුමාගේ නිර්මාණ රසවීදිමටත්, සමීපව ඇසුරු කිරීමටත් මට හැකියාව ලැබුණා.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ලෝකයේ ප්‍රධාන භාෂාවකින් හෝ ආසියාවේ ප්‍රධාන භාෂාවකින් චිත්‍රපට නිෂ්පාදනය කළා නම් ඔහු අද ලෝක ප්‍රසිද්ධ වීමට ඉඩ තිබුණා. එම අවස්ථාව එතුමාට නොලැබුණත් ඔහුගේ නිර්මාණ නිසා සිංහල සිනමාව අර්ථවත් වුණා. අපේ චිත්‍රපට සංස්කෘතිය වෙනස් වුනේ එතුමාගේ සේවය නිසයි. අද වයස අවුරුදු 99 වන ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාට මෙම ස්ථානයට පැමිණීමටනොහැකි වූවත් අපි සියලුම දෙනා එතුමාට ස්තුති වන්ත වෙනවා. වර්තමාන ශ්‍රී ලංකාව මේ ආකාරයට වෙනස් කළ පුද්ගලයන්ගේ නාම ලේඛනයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නමත් ඇතුළත්ව තිබෙනවා.

ලෙස්ටර් සහ සුමිත්‍රා දෙපළ ආශ්‍රය කිරීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. සිංහල සිනමාවේ විප්ලවයක් කළ ලෙස්ටර් ජේම්ස් පීරිස්ට රට වෙනුවෙන් මම ස්තුති වන්ත වෙනවා. චිත්‍රපට කර්මාන්තය හරහා ජනතාවගේ ජීවිත රසවත් කළ මෙතුමාට සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්මම ප්‍රාර්ථනා කරනවා.       

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*