ලොව පුරා වසරකට මිලියන 10 ක් බෝ නොවන රෝගවලට ගොදුරුව මිය යයි

බෝ නොවන රෝග පිළිබඳව සාර්ක් රටවල ප‍්‍රථම වාර්ෂික සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

බෝ නොවන රෝග පිළිබඳව සාර්ක් රටවල ප‍්‍රථම වාර්ෂික සමුළුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් 31 පෙරවරුවේ කොළඹ ගාලූ මුවදොර හෝටලයේදී ආරම්භ කෙරිණි.

බෝ නොවන රෝග අවම කිරීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග, ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම, සාර්ක් රටවල් අත්දැකීම් හුවමාරු කර ගැනීම වැනි කි‍්‍රයාමාර්ග කෙරෙහි මෙම සමුළුවේදී අවධානය යොමු කෙරෙන අතර සමුළුව අද සහ හෙට දෙදින පුරා කොළඹදී පැවැත්වෙයි.

ජානමය, ශාරීරික සහ පාරිසරික පුරුදුවල ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන රෝගී තත්ත්වයන් වන බෝ නොවන රෝග අවම කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම රටකම වැඩසටහන් දියත් කර ඇත. මෙහිදී හෘද රෝග පිළිකා, ශ්වසනාබාධ, දියවැඩියාව ඇතුළු ප‍්‍රධාන බෝ නොවන රෝගවලට වැඩි වශයෙන් ගොදුරුව ඇත්තේ පහළ සහ මධ්‍යම ආදායම් ලාභී රටවල්වීම ද විශේෂත්වයකි. ලොව පුරා වසරකට මිලියන 10ක පමණ සංඛ්‍යාවක් බෝ නොවන රෝගවලට ගොදුරුව මිය යන අතර, දුම්කොළ භාවිතය, ව්‍යායාම් නොකිරීම, සමබල ආහාර වේලක් නොගැනීම, මත්පැන් භාවිතය බෝ නොවන රෝගවලට ගොදුරුවීමට බලපාන සාධක වෙයි.

බෝ නොවන රෝග තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා බාධාවක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව 2030 වන විට බෝ නොවන රෝග අවම කර ගැනීම සඳහා ඉලක්ක ගත වැඩසටහන් ලොව පුරා කි‍්‍රයාත්මක වෙයි. ඉන් ශ‍්‍රී ලංකාවේ ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇගයීමට ලක් කර තිබෙන අතර, එය අනෙක් රටවලට ද ආදර්ශයක් බව පෙන්වා දී තිබේ.

මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස යන මහත්වරුන් ද සාර්ක් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ඇතුළු නියෝජිතයින් එක්ව සිටියහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*