“ගෝඨා-මහේන්ද්‍රන්” ජාත්‍යන්තර නීතියේ පිහිට පතයි..?

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවේ අධිකරණයෙන් ද හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු අධිකරණයෙන් ද ආරක්ෂාව ඉල්ලා එම අධිකරණ හමුවේ කරුණු ඉදිරිපත් කරනු ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
ඇමරිකානු පුරවැසිභාවය සහිත ගෝඨාභය රාජපක්ෂ මහතා එරට අධිකරණය හමුවේ මෙසේ කරුණු දක්වනු ඇත්තේ බරපතළ දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන වාර්තාවේ නිර්දේශ මත පදනම්ව හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස තමාගෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව දේශපාලන වශයෙන් පළි ගැනීමට සැලසුම් කර ඇති බව කියමිනි.
මේ අතර බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා ආණ්ඩුව,පූර්ණ සිංගප්පූරු පුරවැසියකු වන  තමාට එරෙහිව ගැනීමට යන නීතිමය ක්‍රියා මාර්ග සහ ඒ පිටු පස තිබෙන දේශපාලන අරමුණු සම්බන්ධයෙන් එරට අධිකරණය හමුවේ කරුණු දක්වනු ඇතැයි ද ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.
බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ මත පදනම්ව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම සඳහා මේ මස පහළොස් වැනිදාට පෙර ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට  ලෙස අධිකරණය  හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ද මේ වන විටත් නියෝග කරනු ලැබ තිබේ.
කෙසේ නමුත් සිංගප්පූරු ජාතිකයකු ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා  මේ සම්බන්ධයෙන් එරට අධිකරණය සහ ආරක්ෂක අංශ දන්නුම්වත් කර ඉදිරි ක්‍රියා මාර්ග සඳහා අවසර ගත යුතු බැවින් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඔහු නිශ්චිත කාලයක් ඉල්ලා සිටිනු ඇතැයි සඳහන්වේ.
මෙවැනි වාතාවරණයකදී ඇමරිකානු සහ සිංගප්පූරු පුරවැසිභාවය සහිත අයට එරට අධිකරණවලින් ආරක්ෂාව,ආධාර සහ නීතියේ රැකවරණය ඉල්ලා සිටිය හැකි බව නීතීඥ එස් ජී පුංචිහේවා මහතා පැවසීය.
ඒ වෙනුවෙන් ඒ අය ඒ සම්බන්ධයෙන් එරට අධිකරණ හමුවේ කරුණු දැක් විය යුතු බව ද ඊට අදාළව එම අධිකරණ ඒ සම්බන්ධයෙන් කරුණු විභාග කර මේ අය දක්වන කරුණු වැරදි ද නිවැරදි ද, ඇත්තටම මොවුන් වැරදි කරුවන් ද නිවැරදිකරුවන් ද යන්න පිළිබඳව තීන්දු කළ යුතු බව ද හෙතෙම විස්තර කළේය.
කෙසේ නමුත් ඇමරිකාවේ සහ සිංගප්පූරුවේ ස්වභාවය වන්නේ එවැනි නඩු විභාගයක දී පවා සිය පුරවැසියන් වැරදිකරුවන් බව ඔප්පු වුණත් ඒ වැරදිකරුවන් ඉල්ලා සිටින අදාළ රටට ඒ අය භාර නොදී ඒ රටවල නීතියට අනුව එරටවල අභ්‍යන්තරයේදීම ඒ අයට දඬුවම් ලබාදීම යැයි ද එස් ජී පුංචිහේවා මහතා කියා සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ සහ අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලා සිටියත් ඒ අයට තිබෙන චෝදනා සම්බන්ධයෙන් සිය රටේදී නඩු අසා එහිදී ඒ අය  වැරදිකරුවන් බව ඔප්පු වුණොත් ඒ අයට ඒ රටවලදීම දඬුවම් ලබාදීමට හැකි බවට ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දීමට ඇමරිකාවට සහ සිංගප්පුරුවට හැකියාව තිබෙන බව ද නීතීඥ එස් ජී පුංචිහේවා මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
උපුටා ගැනීම – http://lankanewsweek.com

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*